මනෝ චිකිත්සාව (psychotherapy) යනු කුමක්ද?

මනෝ ප්‍රතිකාරය, උපදේශණය, මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර යන නොයෙක් වදන් අපට ඇසී ඇත. මේ සියල්ල මනෝ චිකිත්සාව යටතට එයි. අප මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලමු.

සංනිවේදනය, එනම් කෙනෙකු තව කෙනෙකු හෝ කිහිප දෙනෙකු සමග අදහස් හුවමාරු කර ගැනීම, හරහා සිදුවෙන ප්‍රතිකාර ක්‍රම ඇත. මෙසේ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රධානම ක්‍රමය කතා බහ වන අතර වෙනත් ක්‍රම වන්නේ ලිපි හෝ ඊමේල් හෝ කෙටි පණිවිඩ හුවමාරුව යි. එසේම කතා බහ බොහෝ විට මුහුණට මුහුණ කෙරෙන අතර දුරකතනය, වීඩියෝ දුරකතනය වැනි ක්‍රමද අදාළ විය හැක.

සංනිවේදනය හරහා ප්‍රතිකාර කරන්නේ කෙසේද? මේ ගැන දැන ගැනීමට පෙර අප මනස වැඩ කරන හැටි මදක් විමසා බලමු.

මනස යනු අප සිතන දෑ, අපට දැනෙන/ හැඟෙන දෑ සහ අප කියන/ කරන දෑ යන ඒවායි. වෙනත් වචන වලින් කියතොත් අපේ සිතුවිලි (thoughts), හැඟීම් (emotions) හා හැසිරීම හෙවත් චර්යාව (behaviour) යනු අපේ මනසේ ක්‍රියාත්මක විමයි. මෙම සිතුවිලි, හැඟීම් හා හැසිරීම එකිනෙකට සම්බන්ධය. එකක් වෙනස් කළ විට තවෙකක් හෝ කිහිපයක් හෝ වෙනස් වෙයි.

නිදසුනක් ලෙස දියවැඩියාවට ප්‍රතිකාර ගන්නා පුද්ගලයෙකු සළකන්න. ඔහුට හැම විටම ඔහුගේ බිරිඳ තම බෙහෙත් බීම මතත් කරන්නේ යැයි සිතන්න.  ඇය මෙය පමණ ඉක්මවා කරයි; අන් අය ඉදිරියේදීද නිතර බෙහෙත් බීවාදැයි අසයි. දැන් ඔහු තුළ අපහසුතාවයක් ඇති විය හැක. ඒ සමග ‘මේ බෙහෙත් බීම මොන වදයක්දැයි’ ඔහුට සිතෙයි. එම සිතුවිල්ලට ඈඳී ‘බිරිඳ තමයි මේ වදය මට දෙන්නේ’ යනුවෙන් සිතුවිල්ලක් ඇති විය හැක. දැන් ඇය ගැන තරහක් ඇති වෙයි. තරහ පිරිමහ ගැනීමට බෙහෙත් නොබී සිටිය හැකි බව ඔහුට පෙනෙයි. එවිට බිරිඳ  කෝප වී තවත් තදින් සිටියි. දැන් ඔහු තුළ බිරිඳ ගැන ඇති තරහ තව වැඩි වෙයි.

ඉහත නිදසුනේ සිතුවිලි (‘මේ බෙහෙත් බීම මොන වදයක්ද’; ‘බිරිඳ තමයි මේ වදය මට දෙන්නේ’), හැඟීම් (අපහසුතාවය; තරහ; අධික තරහ) සහ හැසිරීම (බෙහෙත් නොබී සිටීම) අතර සම්බන්ධය අපය පෙනෙයි. මෙය දැන් දියවැඩියා අර්බුදයක් සේම විවාහ දිවියේ අර්බුදයක් දක්වා ඔඩු දුවන සැටි ඔබට පෙනෙයි.

අපට දැන් කළ හැක්කේ කුමක්ද? බිරිඳ නිතර අන් අය ඉදිරියේ බෙහෙත් බිවාදැයි අසන එක අඩු කළොත් ඔහු තුළ ඇති තරහ සහ ඊට ආදළ සිතුවිලි වෙනස් විය හැක. ඔහු බිරිඳගේ චර්යාව ගැන වෙනත් විදියකට බැලුවොත් ඔහු තුළ ඇතිවන සිතුවිලි වෙනස් කර ගත හැක. එවිට තරහව අඩු වනු ඇත. මේ දෙවිදියටම ඔහු නැවත බෙහෙත් කලට වේලාවට බොන කෙනෙකු බවට පත් වීමට ඉඩ ඇත.

ඉහත සඳහන් කළ වෙනස්කම් අපට සංනිවේදනය හරහා සිදු කළ හැක. නිදසුනක් ලෙස බිරිඳට මේ ගැන පහදා දී ඇගේ හැසිරීම වෙනස් කර ගන්නා හැටි පෙන්වා දිය හැක. මනෝ චිකිත්සාව යනු මෙයයි. මෙය බොහෝ විට චිකිත්සකයා කතාබහ නම් සංනිවේදනය හරහා සේවා ලාභියාට සලසන සේවයකි.

යම් යම් මනෝ චිකිත්සක යෙදුම් තත්පර හෝ විනාඩි කිහිපයක් ඇතළත සිදු කළ හැකි මුත් සාමාන්‍යෙයන් මනෝ චිකිත්සාව සතියකට හෝ දෙකකට වරක් චිකිත්සකයා මුණ ගැසී යම් දිගු වෙලාවක් කතා බහක නියැලී සිටීමයි. මෙම මුණ ගැසීම වාර ගණන ඒ ඒ තත්ත්වයන් අනුව කිහිප වතාවක් හෝ දස දොළොස් හෝ ඊටත් වැඩි වතාවක්  හෝ විය හැක.

මනෝ චිකිත්සාව සිදු කරන ක්‍රම වේදය අනුව නොයෙකුත් ලෙස වර්ග කළ හැක. අප ඒ ගැන දැන් බලමු.

සේවා ලිභීන් ගණන අනුව:

සුලබම විදිය එක් චිකිත්සකයෙකු එක් සේවා ලාභියෙකුට චිකිත්සාව ලබා දීමයි. නමුත් ඉහත උදාහරණයේදී දියවැඩියි ඇති පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම චිකිත්සකයා හා කතා බහට කැඳවිය හැක. විශේෂයෙන්ම විවාහ දිවියේ ගැටළු වලට කරන ප්‍රතිකාර වලදී දෙදෙනාම කැඳවීම ට සිදු වෙයි. එය යුගළ ප්‍රතිකාර (couple therapy) නමි. තවත් සමහර අවස්ථාවලදී පවුලම කැඳවීමට සිදුවෙයි. එවිට එය පවුල් ප්‍රතිකාරයකි (family therapy). තවත් විටක කණ්ඩායමකට එකවර ප්‍රතිකාර කළ හැක. නිදසුනක් ලෙස මද්‍යසාර සම්බන්ධ ගැටළු ඇති කිහිප දෙනෙකු එකවිට කණ්ඩායකමක් ලෙස ගෙන්වා චිකිත්සාවක් ලබා දිය හැක. එවිට එය කණ්ඩායම් චිකිත්සාව (group therapy) නමි.

සංනිවේදනය කරන විදිය අනුව‍:

වඩාම සුලබ කතා බහ හරහා සිදු කෙරෙන ප්‍රතිකාරයයි. සමහරවිට වීඩියෝ දුරකතන (Skype) හරහා විය හැක. ලිපි ගනු දෙනු ඊමේල් හරහා ද යම් ප්‍රතිකාරයක් සිදු වියහැක. මෙය බොහෝ විට කතා බහ හරහා සිදු කෙරෙ ප්‍රධාන ප්‍රතිකාරයට අමතරව සිදුවෙන දෙයක් විය හැක. චිකිත්සකයෙකු නැතිව පරිගණකයක් හරහා යම් සරළ ප්‍රතිකාර ලබා දෙන අවස්ථාද ඇත.

චිකිත්සා තාක්‍ෂණය අනුව:

පුද්ගලයාගේ හැසිරීම වෙනස් කොට ඒ හරහා සිතුවිලි, හැඟීම් සහ වෙනත් චර්යා වෙනස් කිරීම චර්යා චිකිත්සාව (behaviour therapy) නම් වෙයි.

පුද්ගලයාගේ සිතුවිලි වෙනස් කොට ඒ හරහා හැඟීම්, චර්යා සහ වෙනත් සිතුවිලි වෙනස් කිරීම සිතුවිලි චිකිත්සාව (cognitive therapy) නම් වෙයි.

පුද්ගලයාගේ සිතුවිලි සහ චර්යාව වෙනස් කොට ඒ හරහා හැඟීම්, චර්යා සහ සිතුවිලි තව දුරටත් වෙනස් කිරීම සිතුවිලි-චර්යා චිකිත්සාව (cognitive-behavioural therapy: CBT) නම් වෙයි.

පුද්ගලයාගේ හැඟීම් කෙරෙහිම වැඩි අවධානයක් යොමු කොට පුද්ගලයා තුළ තම හැඟීම් ගැන ඇති අවබෝධය වඩා නිවැරදි කොට ඒ හරහා හැඟීම්, චර්යා සහ සිතුවිලි වෙනස් කිරීම හැඟීම් පාදක චිකිත්සාව (emotion-focused therapy) නම් වෙයි.

පුද්ගලයාගේ මනසේ ගැඹුරේ කලක් තිස්සේ (නිදසුනක් ලෙස ළමා විය අනුව) තැන්පත් වුණු සිතුවිලි, හැඟීම් හා චර්යා පිරික්සා ඒ ගැන පුද්ගලයා විමසිලිමත් වීම හා තේරුම් ගැනීම හරහා මනෝගතික චිකිත්සාව (psychodynamic therapy) සිදු කෙරෙයි. ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණාත්මක චිකිත්සාවද (psychoanalytic therapy) මීට ළඟින් යයි.

සිතුවිලි-විශ්ලේෂණාත්මක ප්‍රතිකාරය (cognitive analytic therapy) යනුවෙන්ද එක් චිකිත්සාවක් ඇත.

පුද්ගලයාගේ යහපත් සිහිය වැඩි දියුණු කොට තමා තුළ ඇතිවන සිතුවිලි, හැඟීම් හා චර්යා ඒ මොහොතේම දැකීමට සළස්වා ඒ හරහා හැඟීම්, චර්යා සහ සිතුවිලි වෙනස් කිරීම යහපත් සිහිය පාදක චිකිත්සාව (mindfulness based therapy) නම් වෙයි.

පුද්ගලයාගේ මනසේ ගැඹුරට නොයා මතුපිටින් යම් යෝජනාවක් සිදු කර කෙරෙන චිකිත්සාව මෝහන ප්‍රතිකාරය (hypnotherapy) නම් වෙයි.

පුද්ගලයා තම ජීවිත කතාව කතන්දරයක් හැටියට කීමට සලස්වා එම කතාව වෙනස් කිරීමේ බලය පුද්ගලයාටම ඇති බව තේරුම් ගැනීමට සැලැස්වීම කතන්දර චිකිත්සාව (narrative therapy) යි.

පුද්ගලයාගේ හැඟීම්, චර්යා සහ සිතුවිලි වෙනස් කිරීම පුද්ගලයා හරහා පමණක් නොව පුද්ගලයා හා ගැටෙන අන් අයටත් පුද්ගලයාටත් පොදු සමස්ත සංස්කෘතික පද්ධතියම හරහාද සිදු කිරීම පද්ධති චිකිත්සාව (systemic therapy) නමි. පුද්ගලයාගේ මානව සබඳකම් වෙනස් කිරීම හරහා සුවය සැළසීම අන්තර්පුද්ගල චිකිත්සාව (interpersonal therapy) නමි.

රතිය/ ලිංගිකත්වය සම්බන්ධ රෝග වලට වෙන් වූ රති චිකිත්සාව (sex therapy) ඇත.

චිකිත්සා අරමුණු අනුව:

යම් යම් මානසික රෝග සුව කිරීමට හෝ එහි බලපෑම අඩු කිරීමට හෝ රෝගියාගේ අපහසුතාවය අඩු කොට එදිනෙදා ක්‍රියාකාරිත්වය ඉහළ දැමීමට හෝ නොයෙකුත් චිකිත්සා ඇත. මානසික රෝග නැති ජීවිතයේ නොයෙකතු ගැටළුවලට මුහුණ දුන් අයට උදවු කිරීමේ චිකිත්සා ඇත. තම පුද්ගල සොබාව හෙවත් පෞරුෂය වෙනස් කර ගැනීම සඳහාද චිකිත්සාව සිදු කළ හැක.

 

ප්‍රතිකාර කෙරෙන රෝගය/ තත්ත්වය අනුව:

විෂාදය (depressive disorder) සුව කිරීමට සිතුවිලි-චර්යා චිකිත්සාව, අන්තර්පුද්ගල චිකිත්සාව, මනෝගතික චිකිත්සාව සිතුවිලි-විශ්ලේෂණාත්මක ප්‍රතිකාරය භාවිත වෙයි. විෂාදයට අමතරව සමාජ භීතිකාව (social phobia) ඇතුළු සියළුම කාංසා රෝග (anxiety disorders), ග්‍රස්ථිය (obsessive-compulsive disorder: OCD), ආහාර අනුභව රෝග (eating disorders), මද්‍යසාර-දුම්කොළ-මත්ද්‍රව්‍ය භාවිත රෝග (alcohol-tobacco-drug use disorders) වැනි රෝග රැසකට සිතුවිලි-චර්යා චිකිත්සාව සාර්ථක ප්‍රතිපල ගෙන දෙයි. පුරුදු සම්බන්ධ රෝග (habit disorders), එනම් ඇඟිලි ඉරීම, කෙස් ගැළවීම වැනි රෝග, වෙනුවෙන් විශේෂිත චර්යා ප්‍රතිකාර ඇත. සරළ භීතිකාවලට (simple phobias) සරල චර්යා ප්‍රතිකාර ඇත. රති රෝග (sexual disorders) වලට රති ප්‍රතිකාර ඇත. ක්‍ෂතිමය (trauma) තත්ත්වයනට මුහුණ දීම (උදා: සුනාමිය/ යුද්ධය/ බෝම්බ පිපිරීම වැනි තත්ත්ව) නිසා ඇති වන රෝග වලට සිතුවිලි-චර්යා චිකිත්සාව සහ වෙනත් චිකිත්සා ඇත.

රෝග නොව තත්ව, නිදසුනක් ලෙස සිරුරේ බර අඩු කර ගැනීම වැනි දේ පහසු කිරීමට ද ජීවිතයේ සිදු වන අහිමි වීම වලට මහුණ දීමටද ආදී වශයෙන් නොයෙකුත් චිකිත්සා ඇත.

පුද්ගලයාගේ සිතුවිලි, හැඟීම්, චර්යා වල විශේෂ වෙනස් කිරීමකට වඩා පුද්ගලයාගේ සිත් සැනසීම අරමුණු කර ගෙන කරන මනෝ චිකිත්සාව මනෝ උපදේශනය (psychological counselling) නමි.

 

This entry was posted in Uncategorized. Bookmark the permalink.

එක් අයෙකු මනෝ චිකිත්සාව (psychotherapy) යනු කුමක්ද? සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. පින්ග්කිරීම: Contents ඇති දෑ | මනෝ සෞඛ්‍යය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )