මොකද්ද මේ සයිකෝසියාව?

ඇත්තටම සයිකෝසියාව යනු එක් මනෝ රෝගයක් නොව රෝග කිහිපයක එකතුවකි. ස්කිට්සොෆ්‍රීනියාව හෙවත් භින්නෝන්මාදය, ඩිලූෂනල් ඩිස්ඕඩර් හෙවත් මායා විශ්වාස රෝගය මින් කිහිපයකි. වෙනත් සමහර මනෝ රෝග ඇති විටකදීද මෙම සයිකෝසියාවේ ලක්‍ෂණ පහළ විය හැක.

එහෙනම් අපි මුලින්ම බලමු සයිකෝසියාවේ මූලික ලකුණු මොනවාදැයි කියා.

මායා විශ්වාස:

මෙය විශ්වාසයකි; එනම් සිතුවිල්ලකි. නමුත් මෙහි විශේෂත්වය නම් පුද්ගලයා එම සිතුවිල්ලේ තදින්ම එල්බ ගෙන සිටීමයි. ඇත්තටම එම එල්බ ගැන්ම මොහොතකටවත් සෙළවිය නොහැකි තදබල එල්බ ගැනීමකි. තව කෙනෙකු මොන තර්ක ගෙන ආවත් සිතුවිල්ල වෙනස් කිරීමට මොන සාක්කි ගෙන හැර පෑවත් පුද්ගලයා සිතුවිල්ල වෙනස් නොකරයි.

උදාහරණයක් වශයෙන් සුමුදු නම් කෙනෙකු සේවායතනයේ තම ප්‍රධානියා තමාට විරුද්ධව ක්‍රියා කරන බවත් තමන්ව නොකළ වරදකට හසු කරවීමට යන බවත් විශ්වාස කරනවා කියමු. දිනක් මෙම ප්‍රධානියා සුමුදු ගැන තවත් කෙනෙකු සමග ප්‍රශංසා කරන හැටි සුමුදුට අහම්බෙන් ඇසුණා යැයි සිතමු. එවිට සුමුදුට ‘මා සිතූ සිතුවිල්ල ඇත්තටම වැරදි නේ’ දැයි සිතෙනු ඇත. එසේ නම් මෙය නීරෝගී සිතුවිල්ලකි. නමුත් මෙය මායා විශ්වාසයක් නම් සුමුදු කෙසේවත් තම මතය වෙනස් නොකරයි. ‘ඔය හොඳ කියනවා ඇත්තේ මා අසා සිටින බව කෙසේ හෝ දන්නා නිසා’යැයි කියමින් තම කලින් විශ්වාසයේම එල්බ ගෙන සිටියි.

මායා විශ්වාසයක අනෙකුත් ලකුණ වන්නේ එම විශ්වාසය සාධාරණ හේතුවක් නැතිව එළැඹි තීරණයක් වීමයි. සුමුදු මෙන් සේවකයින් පෙළන ප්‍රධානීහු කොතෙකුත් සිටිති. එසේ තම ප්‍රධානියා ගැන සිතීම මායා විශ්වාසයක් නොවෙයි. එහෙත් සුමුදු තම ප්‍රධානියා තමනට අහිතක් කිරිමට යන බව දැන ගත්තේ කෙසේදැයි විමසූ කළ ඔහු මෙවැනි පිළිතුරක් දුන්නොත්:

“මගේ ප්‍රධානියා මෑතක සිට නිතර එයාගේ පුද්ගලික ජංගම දුරකතනයෙන් කාර්යාලයේදී ඇමතුම් ගන්නවා. ඒ හැම විටම එයා ඇස් කොනෙන් මා දෙස බලනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මට විරුද්ධව කුමන්ත්‍රණයක් තමයි.”

මේ කියන ලෙස කාර්යාලයේදී දුරකතන ඇමතුම් ගැනීම සත්‍යයක් වුවත් එමනිසා ප්‍රධානියා සුමුදුට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ යැයි නිගමනය කිරීම සාධාරණ නොවෙයි. මෙසේ සාධාරණ නොවන තීරණවලට එළැඹීම මායා විශ්වාසයක ලකුණක් විය හැක. නමුත් ඒ නිසාම පමණක් සුමුදුට ඇත්තේ මායා විශ්වාසයකැයි නොකිව යුතුය.

මෙසේ අන් අය තමනට හානි කරනවා යන තේමාවට අමතරව, අන් අය වට පිට තැන තැන සමහරවිට මාධ්‍ය තුළත් තමන් ගැනම කතා කරන්නේය යන තේමාවද සුලබ මායා විශ්වාස තේමාවකි.

භ්‍රාන්ති:

මායා විශ්වාසයක් යනු සිතුවිල්ලක් නම් භ්‍රාන්තයක් යනු සංවේදනයකි. පංචේන්ද්‍රිය අනුව භ්‍රාන්ති වර්ග පහකි. එනම් ශ්‍රව්‍ය (කනට ඇසෙන), ගන්ධ (නහයට දැනෙන), රස (දිවට දැනෙන), ස්පර්ශ (සිරුරට දැනෙන) සහ දෘශ්‍ය (ඇසට පෙනෙන) වශයෙනි. මෙයින් වඩාත්ම සුලබ වන්නේ ශ්‍රව්‍ය (කනට ඇසෙන) භ්‍රාන්ති වන අතර දෘශ්‍ය (ඇසට පෙනෙන) භ්‍රාන්ති වඩාත්ම දුලබ ලෙස දක්නට ලැබෙන භ්‍රාන්ති වර්ගය වෙයි.

යමෙකු කතා කරන විට අපට එම කටහඬ ඇසෙයි. එම පුද්ගලයා කතා කරනවා පෙනෙයි. නමුත් ශ්‍රව්‍ය භ්‍රාන්තියකදී සිදු වන්නේ ඇත්ත ලෝකයේ එසේ හඬක් නොඉපදී කෙනෙකුට එවැනි හඬක් ඇසීමයි.

උදාහරණයක් ලෙස සුමුදුට තම ප්‍රධානියා තමන් ගැන අගතිගාමී දේ දුරකතනයෙන් කියනවා ඇසෙනවා කියමු. එහෙත් ඔහු සිටින්නේ සුමුදුට සෑහෙන දුරකින් වීදුරු කුටියක් තුළයි. එසේනම් මේ සුමුදුට ඇසෙනවා ඇත්තේ ඇත්ත හඬ නොවි හැක. එය ශ්‍රව්‍ය භ්‍රාන්තියක් විය හැක.

මීටත් වඩා සුලබව දක්නට ලැබෙන උදාහරණයක් නම් සුමුදුට පෙනෙන තෙක් මානයේ තම ප්‍රධානියා නැති විටකදී ඔහු තවත් කෙනෙකු සමග සුමුදුට විරුද්ධව කුමන්ත්‍රණ කරන අයුරු ළඟ සිට අසා සිටින විට ඇසෙන අයුරින් සුමුදුට ඇසීමයි. එවැනි අත්දැකීමක් දැනුණු පළමු දිනයේදී සමහරවිට සුමුදු කළබල වී මෙසේ ඇසෙන්නේ කෙසේදැයි වට පිට බැලුවා විය හැක; කාමරය තුළ ඇති යම් ශබ්ද උපකරණයකින් නැතිනම් දුරකතනයකින් මෙසේ හඬ පිට වේදැයි පරීක්‍ෂා කර බැලුවා විය හැක. එසේම මෙම ඇසෙන හඬට තමන් නැවත කතා කරමින් ප්‍රතිචාර දැක්වීමටද ඉඩ ඇත. එවිට අන් අයට එම පුද්ගලයා තනිවම කතා කරනවා හෝ සිනහා වෙනවා යැයි පෙනෙනු ඇත.

ආහාරයක් කට තුළ නැතිව නොයෙකුත් රසයන්ද අන් අයට නොදැනෙන නොයෙකුත් ගඳ සුවඳද මෙසේ දැනීමට ඉඩ ඇත. එසේම සම මත යම් යම් සංවේදනද සිරුර ගැඹුරින් යම් සංවේදනද ලෙසින් සමහර විට භ්‍රාන්ත ඇති විය හැක.

මායා විශ්වාස සහ භ්‍රාන්ති ගැන පුද්ගලයා තුළ ඇතිවන අවබෝධය:

මෙම විශ්වාස සහ සංවේදන ඒවා අත් දකින පුද්ගලයා තුළ ඇති වන්නේ ඉතාමත් යාථාර්තවාදී ලෙසයි. එනම් සුමුදුට තමන්ට මෙසේ කට හඬ ඇසෙන බවට හොඳටම විශ්වාසය. මන්ද ඒවා ඔහුගේ දෙසවනට සත්‍ය කට හඬ ඇසෙන ලෙසටම ඇසෙන නිසාය. එම විශ්වාස සත්‍ය ලෙසම දැනෙන නිසාය. එම නිසා සුමුද සමග කොතරම් වාද කළත් සුමුදුට එම අත් දැකීම් සත්‍ය නොවන බවට ඒත්ත් නොයයි.

මෙය සුමුදුගේ මුරණ්ඩු සොබාවය හෝ මෝඩකම යැයි වරදවා වටහා නොගත යුතුය. මෙය රෝග ලක්‍ෂණයකි. ප්‍රතිකාර වලින් මෙම අත් දැකීම්වල ප්‍රබල බව ටික ටික අඩු වී යයි. එවිට එම පුද්ගලයාට එම විශ්වාස සංවේදන එතරම් කරදරකාරී වන්නේ නැත. බොහෝ විට සම්පූර්ණයෙන්ම අතුරුදන් වී යයි.

සයිකෝසියාව යනු මෙම භ්‍රාන්ත හෝ මායා විශ්වාස හෝ මේ දෙකම එකවිට දක්නට ලැබෙන ඕනෑම මනෝ රෝගයකි. කලින් සඳහන් කළ භින්නෝන්මාදය (ස්කිට්සොෆ්‍රීනියාව) සහ මායා විශ්වාස රෝගය (ඩිලූෂනල් ඩිස්ඕඩර්) සයිකෝසියාවට අයත් ප්‍රධානම රෝග දෙකයි. තවත් බොහෝ මනෝ රෝග ඇති විට සමහර අයට සියිකෝසීය ලකුණු පහළ විය හැක.

නිදසුනක් ලෙස විෂාදය ඇති කෙනෙකුට සමහර විට දුක කළකිරීමට අදාළ තේමාවක් යටතේ මායා විශ්වාසයක් හෝ ශ්‍රව්‍ය භ්‍රාන්තියක් ඇති විය හැක. එසේම ඩිමෙන්ශියාව, මේනියාව සහ යම් මද්‍යාසාර/ මත් ද්‍රව්‍ය (විශේෂයෙන්ම කංසා) පාවිච්චිය හා සම්බන්ධ රෝග වලදී සියිකෝසීය තත්ව ඇති විය හැක.

සයිකෝසියාව යනු රෝග පන්තියක් බැවින් එම රෝග ගැන වෙන වෙනම කතා කිරීමේදී රෝග කාරක, ප්‍රතිකාර සහ සුවය ලැබෙන හැටි ගැන මතුවට එම එක් එක් රෝගය යටතේ කතා කරමු.

This entry was posted in Uncategorized and tagged , , , , , , . Bookmark the permalink.

මොකද්ද මේ සයිකෝසියාව? සදහා ප්‍රතිචාර 4ක් දක්වා ඇත

  1. පින්ග්කිරීම: මනෝ සෞඛ්‍යය

  2. පින්ග්කිරීම: Contents ඇති දෑ | මනෝ සෞඛ්‍යය

  3. shan madusanka පවසයි:

    මානසික සෞක්‍ය ගැන සිංහලෙන් ලියවුනු වෙබ් අඩවි,බ්ලොග් අඩවි නැති තරම්.. මේ කරන සේවය ගොඩක් වටිනවා.. මේක වෙනම විශාල වෙබ් අඩවියක් ලෙස පුළුල් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.. ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )