මද්‍යසාරයේ ඇතුළු පැත්ත

මද්‍යසාරය කුමන අන්දමේ රසායනිකයක් ද? ප්‍රධාන ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරන උත්තේජකයන් ද නැතහොත් අවපීඩකයක් ද යන්න පැහැදිලි කරගත යුතු කරුණකි.

 

විවිධ නම් වලින්, විවිධ හැඩතල ඇති ඇසුරුම් වලින් සරසා වෙළඳපොළට එන මද්‍යසාරය ප්‍රජාව කෙරෙහි ඇතිකරන බලපෑම විවිධාකාර ය.  බොහෝ පුද්ගලයන්ගේ සාමාන්‍ය විශ්වාසය වනුයේ මද්‍යසාර භාවිතය සතුට ගෙනදෙන ක්‍රියාවලියක් බව ය.  ගී ගයමින්, නටමින්, විනෝද වෙමින් මත්පැන් පිරවූ වීදුරු එකිනෙක ගැටීමෙන් සව්දිය පුරමින් ඔවුහු විනෝද වෙති.  සාමාන්‍ය ජීවිතයේදී ඉතා නිශ්ශබ්ද පුද්ගලයන් මත්පැන් නිසා දොඩමළු වෙති.  සම්පූර්ණයෙන්ම වෙනස් හැසිරීම් රටාවන් ඔවුනගෙන් පිළිබිඹු වෙයි.  මද්‍යසාරය නොමැති උත්සවයක් නම් එහි සජීවී බවක් නැතැයි යන අදහස අද සමාජගතවී තිඛෙන හේතූන් සලකා බැලීම වැදගත් වෙයි.

 

මද්‍යසාරය නිසා භාවිතා කරන්නාගේ ක්‍රියාශීලිත්වය ඇතිකරන බව බලු බැල්මට පෙනෙන්නට තිබේ.  මද්‍යසාරයේ බලපෑම ඇතිවන්නේ මොළය හරහා බව පැහැදිලි කරුණකි.  එසේ නම් මද්‍යසාරය මොළයේ උත්තේජනයක් ඇතිකරනවා ද?

 

මද්‍යසාරයේ අන්තර්ගත සැබෑ රසායනික බළපෑම කුමක් ද? මත්පැන් සාදයක් සැලසුම් කරන අවස්ථාවේ සිට සාදයකදී මත්පැන් වීදුරුව අතට ගත් විගසම පමණක් නොව මද්‍යසාර බෝතලය විවෘත කරන මොහොතේදීම පුද්ගලයා උත්තේජනය වන අවස්ථා අප අත්දැක තිබේ.  මද්‍යසාරය සැබවින්ම උත්තේජකයක් ද නැතහොත් අවපීඩකයක් ද මෙය පැහැදිලි කරගැනීමට විද්‍යාත්මක කරුණු විමසිය යුතුය.

 

ඇත්ත වශයෙන්ම මද්‍යසාරය ප්‍රධාන ස්නායු පද්ධතියට (Central Nervous System: CNS) තදින් බලපාන අවපීඩකයකි.    විද්‍යාත්මක සාධක අනුව මද්‍යසාරය මොළයට තදින් බලපෑම් ඇතිකරන ඉතා ප්‍රබල අවපීඩකයක් (CNS depressant) මිස මොළයට උත්තේජකයක් ඇතිකරන රසායනිකයක් නොවේ.  එසේ නම් මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන මද්‍යසාරය  භාවිතයෙන් පුද්ගල  උත්තේජනයක් ඇතිවන්නේ  කෙසේ ද?

මත්භාවිතය  කළ වහාම ඔවුන් නටන්නේ ගයන්නේ හැසිරීම් වෙනස්වන්නේ කෙසේ ද?  මෙම කරුණු සැලකිල්ලට භාජනය විය යුතුය.  මද්‍යසාරයේ සැබෑ බලපෑම මොළයට ඇතිවන්නේ කෙලෙස ද?  විද්‍යානුකූල අධ්‍යයනය අනුව ශරීරගත වන මද්‍යසාරය ආමාශය සහ බඩවැල් මගින් අවශෝෂණය වීමෙන් පසුව අක්මාව හරහා සිදුකෙරෙන  බහිශ්‍රාවී ක්‍රිියාවලිය මගින් මද්‍යසාර විශාල ප්‍රතිශතයක් ඉවත්කරනු ලබයි.  මත්භාවිතය නිසා අක්මාවට හානි සිදුවන්නේ මෙම හේතුව නිසාය. මෙලෙස අක්මාව මගින් මද්‍යසාර වැඩි ප්‍රමාණයක් ඉවත්කිරීම නිසා රුධිරයේ මද්‍යසාර සාන්ද්‍රණය වර්ධනය වීම ක්ෂණිකව සිදුනොවේ.  ඒ සඳහා අඩුම වශයෙන් විනාඩි 30 ක් පමණ ගතවන බැවින් මොළය කරා මද්‍යසාර ගමන් කිරීමට විනාඩි 30 කට වඩා වැඩි කලයක් ගතවන බව විද්‍යානුකූල පිළිගැනීමයි.  මේ අනුව මද්‍යසාරය බී අරඹීමත් සමගම පුද්ගල හැසිරීම වෙනස්වන්නේ මද්‍යසාරයේ සැබෑ බලපෑම නිසා වන්නේ කෙසේ ද?  මෙම හැසිරීම් රටාවට බලපාන්නේ මද්‍යසාරය ඇතිකරන සැබෑ කායික බලපෑම ද නැතහොත් පුද්ගලයාගේ මනස සමග බැදී ඇති ආකල්පමය පිළිගැනීමක් නිසා ද යන්න සලකා බැලිය යුතු වේ.

 

මත නිසා නටන ගයන පමණක් නොව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් ද විරල නොවේ.  ඔවුන්ගේ හැසිරීම් රටාව ක්ෂණිකව වෙනස්වන අවස්ථා කවරේ ද? බීමතින් ප්‍රචණ්ඩව අශිෂ්ට ලෙස හැසිරෙන පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු ඉදිරියේදී වහාම වෙනස්වන මෙම හැසිරිම් රටාව නැවත ප්‍රචණ්ඩකාරි වන්නේ බිරිඳ සහ දරුවන් ඉදිරියේදී තම නිවසේදී ය.  එම ප්‍රචණ්ඩත්වයට සැබෑ හේතුව මද්‍යසාරය නම් පුද්ගලයා මුහුණ දෙන පරිසරයට අනුගාමීව ශරීරගත මද්‍යසාර සාන්ද්‍රණය වෙනස්විය යුතුය.

 

තවත් සමාජගත අදහසක් වනුයේ ලජ්ජා බිය නැතිකරන හැසිරීම්වලට හේතුව වනුයේ හැසිරීම් පාලනය කරන මොළයේ ඇතැයි කියන යම් විශේෂිත කලාප (inhibition centres) වලට ඇතිවන අවපීඩක බලපෑම නිසා බවය.  එහෙත් විද්‍යානුකූලව මෙම අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනුයේ හැසිරීම් පාලනය කිරීමේ එවන් කලාපයක් මොළයේ නැති බැවිනි.

 

මෙම පටලැවිලි ස්වභාවය පහැදිලි කරගැනීම සඳහා කරුණු කිහිපයක් සලකා බැලිය යුතු වේ.  එනම් රුධිරයේ මද්‍යසාර සාන්ද්‍රණය වෙනසක් නොවී මද්‍යසාරයේ බළපෑම ආපසු හැරවෙන අවස්ථා ඇතිවන්නේ කෙසේ ද?  විද්‍යානුකූලව සාධනීය කරුණුවලට පටහැනි ලෙස මද්‍යසාරය රුධිරගත වීමට පෙර එහි බලපෑම විද්‍යමාන වන්නේ කෙසේද සහ ඉතා ප්‍රබලව මොළයට අවපීඩකයක් ඇතිකරවන රසායනිකයක් වන මද්‍යසාරය උත්තේජකයක් ලෙස හැසිරෙන්නේ කෙසේද යන කරුණු පිළිබඳ පැහැදිලි විය යුතුය. එම කරුණු තහවුරු කිරීම සඳහා රුසියානු විදයාඥයෙකු වන අයිවන් පැව්ලෝ (Ivan Pavlov) මීට ශතකයකට පමණ පෙරදී බල්ලකු ආධාරයෙන් සිදුකරන ලද පරීක්ෂණයක් උපයෝගි කරගැනීම උචිත ය.  එය “ඉගෙනීම”  (Learning) නම් වන මනෝ විද්‍යාත්මක  සංසිද්ධියක් වන අතර මෙම සිද්ධි අධ්‍යයනය සිදුඅවන්නේ තවත් යම් ක්‍රියාවක් හා සම්බන්ධ කිරීමෙනි.

 

එම පරීක්ෂණය සිදුකර ඇත්තේ පැව්ලෝගේ පරීක්ෂණගාරයේදී බල්ලෙකු උපකාරයෙනි. පළමුව සීනුවක් නාදකොට ඉන්පසුව බල්ලාට මස් කැබැල්ලක් දෙන ලදී.  මෙය නැවත නැවත සිදු කරන ලද අතර සීනුව සහ මස් කැබැල්ල අතර සම්බන්ධතාවය හරහා බල්ලාගේ හැසිරීම් නිරීක්ෂණය අරමුණ විය.  සීනුව නාදකොට මස් කැබැල්ල දුන්විට බල්ලාගේ කටින් කෙළ පිටවිය.  ටික වේලාවකට පසුව මස් නොදී සීනුව නාදකළ පමණින් බල්ලාගේ කටින් කෙළ පිටවිය.  සීනුව නාද කිරීම සහ බල්ලාගේ කෙළ ගැලීම එකවිට සිදුවූයේ සීනුව නාදවීමත් සමග මස් ලැඛෙනවා යන අදහස බල්ලා ඉගෙනගෙන තිබූ නිසාය.  ඉන්පසුව මස් නැතිව වුවද සීනුව නාදවූ විට කෙළ ගැලීම සිදුවිය.  සීනුව නාදවීම සහ කෙළ ගැලීම කිහිපවරක් එකවර සිදුවීම නිසා සීනුව නාදවූ විට කෙළ ගැලීම බල්ලා පුරුදුවූ අලූත් හැසිරීමයි.  මේ අනුව අලූත් හැසිරිම් පමණක් නොව අලූත් චිත්තවේගයන් ද ඉගෙන ගැනීමට හැකිවේ.

 

මෙම සංසිද්ධිය මද්‍යසාරයට ගලපන්නේ කෙසේද යන්න සලකා බලමු. උපන්දින හෝ වෙනත් විශේෂ අවස්ථා සැමරීමට සාදයක් පිළියෙල කෙරෙන අවස්ථාවලදී ඇති උත්සවාකාර පසුබිම සංගීතය, රස ආහාරපාන, මිතුරු මිතුරියන්, සැරසිලි ඇතිකරන්නේ සිත පිනායන පසුබිමකි.  එවන් පසුබිමක් තුළදී පුද්ගලයා තුළ ඇතිවන්නේ ද ප්‍රසන්න විනෝදකාමී මානසිකත්වයකි.  මෙවන් පරිසරයකට මද්‍යසාරය එක්කල විට ඇතිවන්නේ මෙවන් සමීකරණයකි.

මද්‍යසාරය  + උත්සවය  = සතුට

ඒ අවස්ථාවේදී ඇතිවන සතුට විනෝදය සැබෑ වින්දනයකි.  පරිසරය නිසා පුද්ගලයා තුළ උත්තේජනයක් ඇතිවේ.  මෙහිදී මද්‍යසාරය සීනුවට සමාන වන අතර මොළයේ උත්තේජනය සමාන කළ හැක්කේ බල්ලාගේ කෙළගැලීමටය.  ඇත්ත වශයෙන්ම මෙහිදී පුද්ගලයා හැසිරෙනුයේ මොළය විසින් ලබාදුන් උත්තේජනය නිසාය.   එයට හේතුව අදාළ පරිසරය විනා මද්‍යසාරය නොවේ.  අයිවන් පැව්ලෝ විද්‍යාඥයාගේ විද්‍යාගාරයේ බල්ලා කවුද?

මද්‍යසාරගත් පුද්ගලයා පැව්ලෝගේ බල්ලා ලෙස හැසිරෙන අතර සීනුව වන්නේ මද්‍යසාරයයි.  කෙළ ගැලීම මත්පැන් බීමෙන් පසුව සිදුකරන විකාර හැසිරීම් වන අතර පැව්ලෝ යනු මද්‍යසාර කර්මාන්තයයි.

පරිවර්තනය: නීලානි විජේසිංහ, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ මෙල් මැදුර, කොළඹ 7

කොළඔ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරියගේ WHY PEOPLE SING & DANCE AFTER ALCOHOL යන ලිපිය අනුසාරයෙනි.

This entry was posted in Uncategorized and tagged , , , , , , . Bookmark the permalink.

මද්‍යසාරයේ ඇතුළු පැත්ත සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. පින්ග්කිරීම: Contents ඇති දෑ | මනෝ සෞඛ්‍යය

  2. පින්ග්කිරීම: මනෝ සෞඛ්‍යය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )