උගුල් Snares

වෛද්‍ය මහේෂ් රාජසූරිය

ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ‍ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය‍වරයෙකුසේද කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ 59 වාට්ටුවේ විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය‍වරයෙකුසේද රාජකාරි කරයි.

 

ශ්‍රියාණි තම දෙහැවිරිදි පුතාට රෑ කෑම පිළියෙල කරන්නට සූදානම් වෙන ගමන් ඇගේ අම්මාගෙන් නිතර අහන පැණයකි: “අම්මේ! පුතාට මොනවද අද රෑට හදන්නේ? බත්ම දෙනවද නූඩ්ල්ස් හදමුද?”

එවිට අම්මා කුමන හෝ පිළිතුරක් දෙයි: “දවල්ටත් එච්චර බත් කෑවේ නැහැ. නූඩ්ල්ස් ටිකක් හදමුද?”

දැන් ශ්‍රියාණි නූඩ්ල්ස් හදයි. ඉන් පසු කෑම වෙලාවේදී නිතරම වෙන පරිදි දරුවා කෑමට අදි මදි කරයි. “අනේ අම්මේ, බලන්නකෝ! පුතා නූඩ්ල්ස් කන්නේ නැහැනේ?”

“ඒ මොකද” ඒ කියාගෙන අම්මා එතැනට එයි. “ඇයි පුතා කන්නකෝ!”

“මදැයි නූඩ්ල්ස් හැදුවා – අනේ මං දන්නෑ මොනවා කරන්නද කියලා” කියා ශ්‍රියාණි මූණ පුළුටු කර ගනියි.

“කෝ ඉන්න බලන්න” කියා දැන් අම්මා කෑම එක අරගෙන දරුවාට කැවීමේ වගකීම බාර ගනියි. ශ්‍රියාණි වෙනත් වැඩක යෙදෙයි.

බැලූ බැල්මට මෙය තවත් සිදුවීමක්  පමණි. නමුත් ටිකක් විමසිල්ලෙන් බැලූ කල අපට මෙහි වෙනත් යමක් පෙනෙන්නට පටන් ගනියි. එනම් කෙසේ හෝ දරුවාට කැවීමේ කාර්යය ශ්‍රියාණි සූක්‍ෂම ලෙස තම මවට බාර දී ඉන් නිදහස් වූ හැටියි. මෙහි ඇති අපූරුම කරුණ නම් ශ්‍රියාණිගේ මවට මෙය නොපෙනීමයි.

මෙවැනි සූක්‍ෂම ශ්‍රියාණිලා කොතෙකුත් ඇත. මෙවැනි අහුවෙන අම්මලා කොතෙකුත් ඇත. මෙසේ සූර ලෙස ශ්‍රියාණි එළූ දැළට අපි උගුලක් යැයි කියමු. ඊට අසුවුනේ ඇගේ අම්මායි. ටිකක් පරිස්සමින් බැලූ විට පෙනෙන කරුණ නම් අප හැමෝම වරින් වර මෙසේ අනුන්ගේ උගුල්වල අසු වන බවයි. එසේම අනෙක් අතට බැලූ විට අන් අය අසු කර ගැන්මට උගල් ඇටවීමට අපි අපිමද අඩු වැඩි වශයෙන් සූරයෝ වෙමු.

සමහර අය උපතින්ම උගුල් ඇටවීමට හපන්නුය. සමහරවිට ඔවුන් තමන් එසේ කරන බව ඔවුනටම හරිහැටි පැහැදිලි නැත. එසේම තවත් අය උගුල් වල අසු වීමට උපන් අයය. නමුත් ඔවුන්ද සමහරවිට තමන් එසේ අසුවන බව නොදනිති.

උගුල් ගැන මෙසේ ගැඹුරින් හැදෑරීමේ පලය කිම? පලය නම් උගුල් වලට අසු නොවීමේ හැකියාව ලබා ගැනීමයි. එය ලබා ගැනීමේ මූලික පියවර නම් උගුල් වලට අසු වන හැටි දැන හඳුනා ගැනීමයි. මේ සඳහා අපි තව උදාහරණයක් ගෙන බලමු.

බිරිඳ:                අපි අපේ ස්ටාෆ් එකේ යාළුවන්ට දවල්කෑමකට එන්න කියමු නේද? ඔයාගේ අය නම් ගිය මාසේ ආවානේ? දැන් අපි අළුත් ගෙට ඇවිල්ලා මාස තුනකුත් වුණානේ.

සැමියා:            කියමු, කියමු. එතකොට අර ඩිවෝස් වෙච්ච ඩල්සි තාම ඉන්නවද?

බිරිඳ:                ඉන්නවා… ඇයි?

සැමියා:            ඇත්තද ඩල්සි ආයිත් බඳින්න යනවා කියන්නේ? (සැරෙන්) ඔයාලටත් ලැජ්ජ නැහැ.

බිරිඳ:                (බියෙන් මෙන්) ඔයා කොහොමද දන්නේ? … ඒකනේ අනේ, බලන්නකෝ.

සැමියා:            ඔයා ඕන කෙහෙම්මලක් කර ගන්න. මට කතා කරන්න එපා ඔය උන්දැලට කන්න දෙන්න.

මෙහිදී සැමියා බිරිඳගේ ඉල්ලිම අහක දමා තමන්ට අවශ්‍ය දේ කර ගැනීමට ඇටවූ උගුල පෙනෙනවාද? ඩල්සිගේ ක්‍රියා කලාපය සහ තම වැඩ පොළේ අයට කෑම වේලක් දීමට බිරිඳට තිබූ ආසාව අතර කිසිදු තාර්තික සම්බන්දයක් නැත. එහෙත් සැමියා එවැනි සම්බන්දයක් ඇති සේ කතාව හැරවූ දක්‍ෂකම බලන්න. කිසිදු සාධාරණ හේතුවක් නැතිව දැන් බිරිඳට තම ආසාව යටපත් කරගෙන සැමියා කියන්නක් අසා සිටීමට සිදුවෙයි.

තවත් උදාහරණයක් ගමු.

පෙරේරා:          ආ! මෙන්න අපෙන් උපන් දින සුබ පැතුම්… 65ක්නේ දැන්? ඉතින් මේ 65 වැනි එක සමරන්නේ කොහොමද, අපී….?

ගමගේ:            (මද සිනා පායි.)

පෙරේරා:          කනවද – නැතිනම් …ම්…ම්… බොනවද?

ගමගේ:            අනේ මොන සැමරිලිද නාකි අපට?

පෙරේරා:          අන්න අන්න! ඒ කතාව හරි නැහැ. වයස නුසුදුසුකමක්ද පොඩි අඩියක් ගහලා උපන් දිනේ සමරන්න? ඔන්න ප්‍රවාහනය මගෙන්. යමුද එහෙනම් බඩු ගෙනෙන්න?

ගමගේ:            සල්ලිත් නෑ මේ දවස්වල…

පෙරේරා:          අයියෝ- සුපර්මාකට් එකට යං. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගන්න පුළුවන්නේ. ඔන්න මං නැගිට්ටා.

පෙරේරාගේ උගුලේ ගමගේ අහු වෙන හැටි පෙනෙනවාද? දැන් අපි මෙම උගුල් වලින් ගැලවෙන හැටි බලමු.

උගුලක සොබාවය නම් අසු වූ පසු ගැලවීම ඉතා අපහසුය. දැන් ගමගේට මුදල්වියදම් කොට මද්‍යසාර ගෙනවිත් පෙරේරාට පෙවීම හැර වෙනත් විකල්පයක් නැති ලෙසක් පෙනෙයි. මෙම අවස්ථාවේදී උගුලෙන් ගැලවී යාමට ගමගේට මහත් උත්සාහයක් දැරීමට සිදුවෙයි. සමහර විට එය කළ කෝලාහලයක් හෝ යාළුකම පළුදු වීමක් බවට හැරීමට ඉඩ ඇත. පෙරේරා වැන්නෙකු සමග නම් යාළුකම නැතිවුවද කම් නැතැයි ඔබට සිතීමටද බැරි නැත.

උගුලකින් ගැලවීමේ මං සෙවීමට වඩා ඉතාමත් පල දරන විකල්පය නම් උගුල් වලට අසු නොවී සිටීමයි. ඒ සඳහා ඔබට අටවන උගුල් අටවාගෙන එන විටම ඔබ දැකිය යුතුය. ඉහත උදාහරණයේදී ගමගේ මද සිනා පාමින් පෙරේරා කියූ දෙය (පෙරේරාගේ හැටි දැන දැනත්) ඉවසන් සිටි තත්පරයේදී ඔහු පෙරේරාගේ උගුලේ අසු වීමට පටන් ගත්තේය. “අනේ මොන සැමරිලිද නාකි අපට?” යැයි කියන ගමන් උගුලේ මන්ද තවත් තද විය. “සල්ලිත් නෑ මේ දවස්වල…” යනුවන් ගමගේ කියු මැසිවිල්ල දඩයක්කාරයෙකුගේ උගුලක අසුවුණු ගොදුර මියයාමට කලින් නගන කෙඳිරියක් වැනිය. ඊලඟ තත්පරයේදී දඩයක්කාරයාගේ ජය ගොස අපට ඇසෙයි: “අයියෝ- සුපර්මාකට් එකට යං. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගන්න පුළුවන්නේ. ඔන්න මං නැගිට්ටා.”

දැන් මේ අනුව අනිකුත් උදාහරණ වලද ගොදුර උගුලේ අසුවීමට පටන් ගත් තැන අඳුනා ගන්න. සැමියා – බිරිඳ දෙබසේදී සැමියා ඩල්සි ගැන ඇසූ විට බිරිඳ “ඉන්නවා… ”  යැයි කියා වරදක් කළ එකෙකු මෙන් නිහඬව සිට “ඇයි” කියා ඇසූ තැන සිට ඇය උගුලට ගොදුරු වීමට පටන් ගත්තාය. ශ්‍රියාණි රෑ කෑමට හදන දෙය ඇසූ විට අම්මා  ඊට පිළිතුරු දීමත් සමග ඇය උගුලට හසුවීමට පටන් ගත්තාය. ඊලඟ තත්පර කිහිපයේදී උගුල තව තද වෙයි. ගැලවීමට දඟලද්දී තවත් හිර වෙයි.

එහෙනම් උගුල්වලට හසු නොවී සිටින්නේ කොහොමද? ඊලඟ ලිපියෙන් ඒ ගැන බලමු.

 

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , . Bookmark the permalink.

උගුල් Snares සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. පින්ග්කිරීම: Contents ඇති දෑ | මනෝ සෞඛ්‍යය

  2. පින්ග්කිරීම: මනෝ සෞඛ්‍යය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )