මොකද්ද මේ මනෝ සෞඛ්‍යය?

මනෝ සෞඛ්‍යය කියන්නේ එක්තරා විදියකට හිතේ සතුටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම අනුව මානසික රෝගයක් තියෙන කෙනෙකුට මනෝ සෞඛ්‍යය අහිමියි. ඒක ඇත්තක්දැයි අප නැවත සිතා බැලිය යුතුයි. ඒ අනුව අපි අළුත් විදියකට මනෝ සෞඛ්‍යය දෙස බලමු.

මනෝ රෝගයක් හෙවත් මානසික ලෙඩක් ඇති විට සාමාන්‍යයෙන් අපට ඒක කරදරයක් බව සැබැයි, හරියට ඕනෑම වෙනත් ලෙඩක් වාගේ. ඒ අනුව මනෝ රෝගයන් ගෙන් තොර වීම හෝ ඇති නම් එය අපට කරදරයක් නොවන ලෙස සමනය කර ගැනීම මනෝ සෞඛ්‍යයට වැදගත්. හැබැයි මනෝ රෝගය වෛද්‍ය විද්‍යාව අනුව තිබෙනවාද නැද්ද යන්නට වඩා මෙහිදී වැදගත් වන්නේ ඇති රෝගය තමනට හෝ අනුනට කරදරයක් වෙනවාද යන්නයි. මේ අනුව මනෝ රෝගයක් ඇතා හෝ නැතා හෝ මනෝ සෞඛ්‍යය ගැන අපට කතා කරන්න පුළුවන්.

දැන් අපි බලමු සිය දිවි හානි සහ වෙනත් ආකාරයේ ආත්ම හානි දෙස: මේවා මානසික ලෙඩ ලෙස වෛද්‍ය විද්‍යාව අනුව වර්ග නොකරත් මේ නිසා අපගේ සතුට සාමය තදින් දෙදරා යා හැකි බව අපට පෙනෙනවා. සමහර අය ම‍නෝ රෝගයක රෝග ලක්‍ෂණයක් ලෙස හෝ සංකූලතාවක් ලෙස දිවි හානි හැසිරුමක් පෙන්නුම් කළ හැකියි. නමුත් ලංකාවේ වැඩි දෙනා දිවි හානි කර ගන්නේ හෝ උත්සාහ කරන්නේ ප්‍රශ්ණ විසඳීමේ අපූරු ක්‍රමයක් ලෙස මෙය හංවඩු ගැහී ඇති නිසයි. මෙයට මාධ්‍යද වග කිව යුතුයි.

සිය දිවි හානි නිසා සිදුවන මරණ සහ එවැනි උත්සාහයන් අවම කර ගැනීම රටක් හැටියට අපේ ම‍නෝ සෞඛ්‍යය ඉහළ බවට දර්ශකයක් ලෙස අපට දැකිය හැකියි. තනි තනිව ගත් කළ ඔබ හෝ ඔබ වටා ඉන්න අය මොන ප්‍රශ්ණ ආවත් සිය දිවි හානිය කියන ‍මෝඩ ක්‍රියාව නොකරන බවක් පෙනෙයි නම් ඔබේත් ඔබ අ‍වට ඉන්න අයගේත් මනෝ සෞඛ්‍යය දියුණු බව සිතිය හැකියි.

අන් අයට කරන මානසික හා කායික වද දීම්ද මේ සමගම කතා කළ යුතුයි. මන්ද දිවි හානි සේම අන් අයට කරන හානි ද ප්‍රචණ්ඩත්වයේ සළකුණු හැටියට දක්වන නිසා. මේ දෙකම ඒ අනුව එකම කෙනා තුළ දක්නට පුළුවන්. තම බලය පාවිච්චි කොට තමනට වඩා දුබල කෙනෙකු මානසික කායික අපහසුතාවකට ලක් කරන එක ඉතාම නීච ක්‍රියාවක්; මනෝ සෞඛ්‍යය ට බලපාන දෙයක්. වද දෙන ‍කෙනාත් ඇත්තටමසතුටෙන් ඉන්න චරිතයක් නෙවෙයි. ඒ නිසානේ අනිත් අයට වද දෙන්නේ!

මේ අනුව පන්න පන්න ළමයි ලේබල් කර වැරදි ‍සොයන ගුරුවරියත් තම දරුවාට කායික දඬුවම් දෙන පියාත් තමා යටතේ ඉන්නා නවක සොල්දාදුවාට ලිංගික අඩන්තේට්ටම් කරන නිළධාරියාත් රෝගීන්ට බැණ වදින වෛද්‍යවරියත්, වැඩක් කර ගැනීමට තමා වෙත එන දුබල ගැමියා පෙළන රජයේ සේවකයාත්, තම බිරිඳට පහර දෙන සැමියාත් – මේ හැමෝම තම සතුටත් නිදහසත් අන් අයගේ සතුටත් නිදහසත් අහිමි කරන අය. මේ සමහර අය “මං ඉතින් බීල හිටිය හින්දනේ එහෙම කළේ” කියා මද්‍යසාර මත තම දුෂ්ට බව පැටවීමට ව්‍යාජ ලෙස උත්සාහ කරනවා.

මේක ඇත්තක්දැයි දැන් අප බලමු.

මද්‍යසාර හා දුම්වැටි නිසා කායික හා මානසික රෝග වැළ‍ඳිය හැකි බැවි ඔබ දන්නවා. මද්‍යසාර ඇබ්බැහිය එවැනි එක රෝගයක්. මනෝ රෝග ගැන අප දැනටමත් කතා කර අවසන්. රෝගයක් දක්නට නැතත් මද්‍යසාර/ දුම්වැටි පාවිච්චි කරන බහුතරය ගැන දැන් අප කතා කරමු. මේ අයගේ සතුට අන් අයට වඩා වැ‍ඩිද අඩුද?

සමහර දුම් උරන්නන්ට දුම් වැටිය නැතුව වැසිකිළියට යන්න බැහැ. බිරිඳට පෙම්වතියට ළඟට යන්න බැහැ ගඳ නිසා. මද්‍යසාර බීලා බොරු චණ්ඩිකම් පෙන්නන අය නියම චණ්ඩියෙකු දුටු විගස නැතිනම් පොලීසිය ආ විට වෙරි රහිත වෙනවා (බලන්න මේ වීඩියෝව). ඒ වගේම මද්‍යසාර කියන්නේ මොළය උද්දීපනයට ලක් කරන දෙයක් නෙවෙයි; අවපීඩනයකට ලක් කරන දෙයක්. සමහර අයට විනෝද ගමනක් යන්න බැහැ මද්‍යසාර නැතුව. අන් අයටත් වදයක්. මගුල් ගෙදරකට එක්ක යන්න බැහැ. පවුලේ අය හරිම අසහනයෙන්.

මද්‍යසාර/ දුම් වැටි මේ අනුව අපේ සතුට නිදහස (සමහර අයට නොමිළේ වැසිකිළි යාමේ නිදහස පවා) අහිමි කරන බව පෙනෙනවා. හෙරොයින් ගංජා ගැන කතා නොකළේ ඒවා මද්‍යසාර/ දුම් වැටි තරම් සුලබ නොවන නිසා; සහ මද්‍යසාර/ දුම් වැටි හෙරොයින් ගංජා වලට වඩා බෙහෙවින් සෞඛ්‍යයට හානි කරන නිසා.

අන්තිමට අපි බලමු අපි අපි ගනු‍ දෙනු කරන දෙස; එනම් යාළු මිත්‍රකම්; නීරස ලෙස කියනවානම් අන්තර් පුද්ගල සම්බනධතා.

අපි වැඩියෙන්ම පෙළන්නේ අප ‍වටේ ඉන්න අය. අපව වැඩියෙන්ම පෙළන්නේත් අප වටේ ඉන්න අය. මේ අනුව අපේ මනෝ සෞඛ්‍යයට – අපේ සතුටට – වැඩියෙන්ම/ නිතරම බල පාන්නේ අපේම අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, සහෝදරයා, සහෝදරිය, යාළුවා, යෙහෙළිය, සේවා සගයා වගේ අයයි.

මා ‍වටේ ඉන්න අය මගේ සතුටට හා නිදහසට බලපාන්නේ කෙසේද? මම, මා ‍වටේ ඉන්න අයගේ සතුටට හා නිදහසට බලපෑම් ඇති කරන්නේ කෙසේද? මේක දැන් ඔබ දිනපතා ජීවත් වෙන ගමන් පරිස්සමින් බලන්න පටන් ගන්න. මේ ගැන කතා කරන්න; විමසිලිමත් වන්න. එවිට ඔබට ඔබේත් අන් අයගේත් සතුට නිදහස වඩා දියුණු කළ හැකි විදි දිනෙන් දින පෙනෙන්න පටන් ගනියි. අප මේ ගැන වඩා පුළුල්ව පසුව කතා කරමු.

ඉතින් අපි අපගේ සතුට නිදහස එනම් අපේ මනෝ සෞඛ්‍යය දෙස මෙලෙස පුළුල්ව බලන්න පටන් ගත්තොත් මෙතෙක් කළ් අපට නොපෙනුණු දේවල් පෙනෙන්න පටන් ගනීවී. කෙටි කාලීනව මෙය ටිකක් අපහසු දෙයක් ලෙස සමහර අයට දැනුණත් දිගු කාලීනව ඔබේ සතුට නිදහස වැඩි වෙන බව ඔබට පෙනේවි.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

මොකද්ද මේ මනෝ සෞඛ්‍යය? සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. පින්ග්කිරීම: Contents ඇති දෑ | මනෝ සෞඛ්‍යය

  2. පින්ග්කිරීම: මනෝ සෞඛ්‍යය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )