කාංසාව සහ ආතතිය Anxiety and tension

වෛද්‍ය මහේෂ් රාජසූරිය

ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ‍ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය‍වරයෙකුසේද කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ 59 වාට්ටුවේ විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය‍වරයෙකුසේද රාජකාරි කරයි.

ප්‍රශ්ණය:

අප මෑතකදී ක්ලමථය ගැන කතා කළා. ඒ කතාව අප නැවැත්වූයේ ක්ලමථයේ ලකුණු ගැන කතා නොකර. අප අද එතැනින් පටන් ගමු නේද?

පිළිතුර:

හොඳමයි. ක්ලමථය වැඩි විට අපට වඩාත්ම බහුලව දැනෙන භාවය තමයි කාංසාව හෙවත් ඉංගිරිසියෙන් කියනවනම් ඇන්ක්සයටි (anxiety). විෂාදය (depression) කියන්නේ තවත් ඒ වගේ මනෝ භාවයක්.  මෙතැනදී අදහස් කරන්නේ විෂාදය කියන රෝගය  (depressive disorder) නෙවෙයි; කෙටි කාලීන මනෝ භාවයක් පමණයි. හැබැයි ක්ලමථය නිසා තවත් කෙනෙකු තුළ මානසික රෝගයක ලකුණු පහළ වීමටත් ඉඩ තියෙනවා. හැබැයි ඒ එම පුද්ගලයා තුළ එම රෝග තත්වය ඇති වීමට අවශ්‍ය අනෙකුත් දේ සැපිරී ඇත්නම් පමණයි. ක්ලමථය නිසා පමණක් මානසික රෝග ඇති වන්නේ ඉතාම කලාතුරකින්.

ප්‍රශ්ණය:

එතකොට ක්ලමථයේ ලකුණු කියන්නේ කාංසාව, විෂාදය හා මානසික රෝග කිවුවොත් හරිද?

පිළිතුර:

කාංසාව, විෂාදය හා මානසික රෝග කියන්නේ ක්ලමථය ඇති විට මතු විය හැකි තත්ව. සමහර විට එකකට වඩා මතු විය හැකියි. ඒ කියන්නේ කාංසාව හා විෂාදය දෙකම මතු විය හැකියි. බහුලවම ඉඩ තියෙන්නේ කාංසාව මතු වීමටයි කිවුවොත් මං හිතන්නේ වරදක් නැහැ.

ඉතින් කාංසාව මතු වුවහොත් ඔහුට හෝ ඇයට තියෙන්නේ කාංසාවේ ලකුණු. විෂාදය මතු වුවහොත් තියෙන්නේ විෂාදයේ ලකුණු. මානසික රෝගයක් මතු ‍වුවහොත් තියෙන්නේ එහි රෝග ලකුණු. තත්වයන් දෙකක් මතු වුවහොත් තියෙන්නේ ඒ දෙකේම ලකුණු වල එකතුවක්.

ප්‍රශ්ණය:

දැන් පැහැදිලියි. වෙන වචනවලින් කි‍වුවොත් ක්ලමථයේ ලකුණු කියා වෙනම ලකුණු ලැයිස්තුවක් නැහැ.

පිළිතුර:

ඔබ හරි. නමුත් සමහර විශේෂඥයින් කාංසාවේ හා විෂාදයේ ලකුණු එකතු කොට එහෙම ලැයිස්තු හදනවා. ඔබ මෙම එක එක තත්වවල ලකුණු ඉගෙන ගත්තා නම් ඔය ගැටළුව ඇති වෙන්නේ නැහැ.

ප්‍රශ්ණය:

මං හිතන්නේ එහෙම නම් ඔබ බලාපොරොත්තු වන්නේ එකිනෙක මේ තත්ව හා එහි ලකුණු කතා කිරීමට විය යුතුයි. මං හරිද? හරිනම් අප පටන් ගන්නේ කාංසාවෙන්ද?

පිළිතුර:

හරියටම හරි. හැබැයි කාංසාව කියන එක ක්ලමථයට වඩා ටිකක් තේරුම් ගන්න අමාරුයි. මොකද මේක භාවමය තත්වයක් නිසා. අපි පොඩි කතන්දරයක් ගමු කාංසාව පැහැදිලි කර ගැනුමට.

හිතන්න කුමුදුනී කියලා තරුණියක් ගැන. ඇය රැකියා සම්මුඛ පරීක්‍ෂණයකට ලැහැස්තිවෙමිනුයි ඉන්නේ. මේ රැකියාව බොහොම අපූරු එකක්. හැබැයි ඒ වගේම තේරෙන්නත් ‍ලෙහෙසි නැහැ. ලොකු තරඟයක් දෙන්න වෙනවා. සම්මුඛ පරීක්‍ෂණය ගැන හිතන හැම විටම කුමුදුනීට බයක් දැනෙනවා.

දැන් ඔන්න ඇය පරීක්‍ෂණය පටන් ගන්න තෙක් එළියේ කාමරයකට වී බලන් ඉන්නවා. දැන් දැන් ඇයට තම හදවත වේගයෙන් ගැහෙනවා දැනෙනවා. සම්මුඛ පරීක්‍ෂණයට පෙරහුරු ලෙස ලැහැස්ති වුණු කිසිවක් ඇයට දැන් මතක් වෙන්නේ නැහැ. මෙන්න මේ මනෝ සොබාවයට තමයි කාංසාව කියා කියන්නේ.

ප්‍රශ්ණය:

එතකොට අපට කාංසාව දැනෙන්නේ සම්මුඛ පරීක්‍ෂණයකට කලින් වගේ අවස්ථාවල පමණද?

පිළිතුර:

නෑ, එහෙම නෙමෙයි. කුමුදුනී සම්මුඛ පරීක්‍ෂණය ගැන සිතන විටත් ඇයට කාංසාව දැනුණා. මේ තරම්ම නොවුණට. කාංසාව හැම කෙනාටම නිතරම ඇතිවන ලෝක ධර්මතාවයක්. අපට දස්කම් පෙන්වීමට සිදු වන ඕනෑම විටක අපට කාංසාව දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ විබාග, සම්මුඛ පරීක්‍ෂණ, ක්‍රීඩා ඉසවු වැනි ඔනෑම දෙයක්. ඒ විතරක් නොවෙයි, සාදයකදී හෝ රෑ කෑමකදී අන් අය හා සතුටු සාමීචියේ යෙදීමත් සමහරවිට කාංසාව ගෙන දෙන දේ වෙන්න පුළුවනි.

අනියතබව දැනුණු සැණින් අපට කාංසාව දැනෙනවා. වෙසෙසින්ම අපට අදරැති කෙනෙකු හෝ වැදගත් දෙයක් හෝ අපට අහිමි වෙයිදෝ යන අවදානම සමග අපට එන්නේ කාංසාව. හොඳ උදාහරණයක් තමයි අපගේ දරුවකු අසනීප වීම.

ප්‍රශ්ණය:

මං හිතන්නේ කාංසාව ගැන මූලික අදහසක් අපට එනවා දැන් දැන්. අප බලමුද මේ කාංසාවේ ලකුණු මොනවාද කියා?

පිළිතුර:

හරි. අප දැනටම දන්නවා වේගයෙන් පපුව ගැහීම, බියක් දැනීම, මොකුත් මතක නැහැ වගේ දැනීම නැතිනම් පැහැදිලිව හිතන්න බැහැ ව‍ගේ දැනීම කියන මේ ලකුණු කාංසාවේ ලකුණු කියා. මේ මම ඔබට දෙන වගුවේ තවත් ලකුණු ලැයිස්තුගත කර තිබෙනවා.

———————————————————————————————————————-

කාංසාවේ සමහර ලකුණු

ඔබ කාංසාවෙන් පෙළෙන බොහෝ විට මේ දක්වා ඇති ලකුණු සමහරක් දැනෙන්නට පුළුවනි. බාගවිට කාංසාව හැර වෙනත් තත්වයක් නිසාත් මේ සමහර ලකුණු මතු වීමට පුළුවනි.

  • වේගයෙන් ගැහෙන හදවත/ පපුව ඩිග් ඩිග් ගෑම.
  • යමක් ගැන බිය වීම හෝ වද වීම.
  • හොඳින් දැන සිටි දේ සිහි කර ගන්න බැරි වීම.
  • සාමාන්‍යයෙන් සිතන ලෙස පැහැදිලි ලෙස සිතීමට බැරි වීම.
  • ඉක්මණින් හා බාගෙට හුස්ම ගැනීම. මෙය හතිය හෝ හුස්ම හිරවීම ලෙස ඔබට දැනිය හැක.
  • ඔළුව කැක්කුම හෝ ඔළුව කරකැවීම/ තෝන්තු ගතිය.
  • සිරුරේ වෙනත් ‍නොයෙකුත් වාත, කැක්කුම්, වේදනා.
  • හදිසියේම නොසිතූ ලෙස වැසිකිළි යාමේ වුවමනාව පහළ වීම.
  • අවධානය විසිරීම නිසා මතකය දුබල වීම.
  • අයුතු ලෙස දහඩිය දැමීම.
  • සිරුර, වෙසෙසින්ම මුහුණ, රත් වීගියා සේ දැනීම. ඔබ පැහැපත් කෙනෙකු නම් මුහුණ රතු (ඇත්තටම රෝස පැහැ) වී යා හැක.
  • බඩ තුළ අපහසුවක් දැනීම හෝ උගුරේ යමක් හිර වූවා සේ දැනීම.
  • සාමාන්‍යයෙන් නැති කළබලයක් නිසා ඔබේ කය, වචනය අමුතු වීම: ගොත ගැසීම, අත පය දරදඬු ලෙස ක්‍රියාත්මක වීම, ජංගම දුරකතනය සමග හේතුවක් නැතිව ඔට්ටු වීම.

———————————————————————————————————————-

ප්‍රශ්ණය:

මේ වගුව නම් මගේ ලඟ තබා ගෙන නැවත නැවත බලන්න ඕන කියලා හිතෙනවා. එතකොට මේ ආතතිය හෙවත් tension කි‍යන්නෙත් මේ වගේ ලකුණු වලට නේද?

පිළිතුර:

බොහෝ දුරට. ලිහිල්ව ගත්තොත් ආතතිය කියන්නේ කාංසාවම තමයි. තව ටිකක් මේ ලිහිල් පදය පැහැදිලි තේරුමක් ඇති වදනක් බවට හැරෙවුවොත් අපට මෙයට මේ තේරුම දෙන්න පුළුවන්. ඉහත වගුවේ අවසන් ලකුණ දෙස බලන්න. එහිදී අප සිරුරේ සිදුවන වෙනස්කම තමයි අපගේ මාංශ පේෂී වල තානය වැඩි වීම. එවිට අත පය මදක් දරදඬු වෙනවා. ටිකක් වෙවුලන්නත් පුළුවන්. මේ තත්වය පමණක් අපට කැමති නම් ආතතියය කියන වදනින් හඟවන්න පුළුවන්. එවිට ආතතිය කියන්නේ කාංසාවේ ලකුණක්; නැතිනම් ලකුණු කිහිපයක් එකතුවක්.

ප්‍රශ්ණය:

ඒකත් දැන් පැහැදිලියි. එතකොට කාංසාව හා ආතතිය කියන්නේ අපේ ජීවිතයට වදයක් නේද?

පිළිතුර:

නැහැ. හැමවිටම නෙමෙයි. දැන් බලන්න කාංසාව ඇත්තෙම නැතිනම් වෙන‍ දෙය. අපි එතකොට විබාගයකට ලෑස්තිවීම අතහැර දමයි; වෙනත් ජීවිතයේ එවැනි ගොඩක් දේ‍ නොකර ඉඳියි. ඇත්තටම කාංසාව කියන්නේ ජීවිතයේ වැදගත් ගාමක බලවේගයක්.

නමුත් විටක එය අපට කරදරයක්.  දැන් බලන්න කුමුදුනීගේ සම්මුඛ පරීක්‍ෂණය දෙස. ඇය ඇත්තටම මෙයින් අසමත් වෙන්න පුළුවනි කාංසාව නිසා. ඒ කියන්නේ සමහර ප්‍රශ්ණවලට ඇයට හරියට පිළිතුරු දීමට බැරි‍ වෙනවා – ඇගේ අදක්සකම නිසා නොවේ – කාංසාව නිසා. පරීක්‍ෂණය අවසන් වූ පසු ඇයට හිතෙනවා අපරාදේ මට ඒ ප්‍රශ්ණ ඔක්කොටම උත්තර දෙන්න තිබුණානේ මීට වැඩිය ගොඩක් හොඳට කියලා.

දැන් මම ඔබට දෙන මේ වගුවේ උදාහරණ එක්ක තියෙනවා කොහොමද කාංසාව අපට කරදරයක් වෙන්නේ කියලා.

———————————————————————————————————————-

කාංසාව අපට කරදරයක් වන හැටි

  • මහත් වූ කාංසාව/ පාලනය කරගත නොහැකි කාංසාව

සම්මුඛ පරීක්‍ෂණයකදී හෝ විබාගයකදී ඇතිවන අධික කාංසාව සමග දස්කම් හරිහැටි පෙන්වීමට බැරි වීම.

  • අනිසි තැන හෝ අනිසි කල ඇතිවන කාංසාව

කැරපොත්තෙකු, පණුවෙකු, මකුළුවෙකු, ලේ, පිහියක් හෝ විශේෂයෙන් හානිදායක නැති යමක් දැක්ක විට ඇතිවන අනියත කාංසාව.

  • අනිසි තැන/ කල ඇතිවන මහත් වූ කාංසාව

හදිසියේම හිතාගත නොහැකි හේතුවක් නිසා ඇතිවන අධික කාංසාව. සමහරවිට කෙනෙකු බසයේ ගමන් කරමින් සිටින විට ඇතිවන අධික කාංසාව.

  • සමාජය ඉදිරියේ ඇතිවන මහත් වූ කාංසාව

පිරිසක්/ කෙනෙකු ඉදිරියේ යමක් කිරීමට සිදු වූ විට, එනම් කතාවක් පැවැත්වීම, අමුත්තෙකු/ අමුත්තියක සමග සුහද කතාව, බැංකුවකට යාම වැනි අවස්ථාවලදී ඇතිවන මහත් වූ කාංසාව.

  • හදිසි කායික රෝග තත්වයක් සේ මතුවන කාංසාව

මහත් වූ කායික රෝග ලකුණු සමග එන අධි තීව්‍ර කාංසාව හෙවත් පැනික් ඇටැක් (panic attack). මෙහිදී එම පුද්ගලයාට තමාට හෘදයාබාධයක් ඇතිවුණු/ ඇති වීමට යන බව, හුස්ම හිරවීමට යන බව හෝ තමා මියයාමට ආසන්න බව දැනෙන්නට හැක.

  • ‍යම් කාල සීමාවක් තිස්සේ ඇති කායික රෝගයක් සේ මතුවන කාංසාව

නිතර නොයෙක් වෛද්‍යවරුන් හමු වීමට සිදුවන, දිනපතා වැඩවලට පාඩුවන, නොයෙක් ආකාරයේ වාත, කැක්කුම්, වේදනා. මේ සමග යම් විශේෂ රෝග ගැන බියක් තිබීමටත් පුළුවන.

  • හැමවිට පවතින කාංසාව හෙවත් නොනිමි කාංසාව

දවස පුරා පවතින අධික කාංසාව; හැම පොඩි දෙය ගැනම වද වෙමින් නිතර කාංසාවෙන් පෙළෙයි.

———————————————————————————————————————-

ප්‍රශ්ණය:

ඉතින් කාංසාව මේ ලෙස අපට වද දෙන්න ගත්තොත් අප මොකද කරන්නේ?

පිළිතුර:

බාගවිට කාංසාව නිකම්ම මග හැරිලා යනවා. නමුත් එහෙම නැතිව උදවු වුවමනා යැයි ඔබට හිතෙන තත්වයක් ඇති වුණොත් ඔබ මුලින්ම කළ යුතු දෙය තමයි රෝග විනිශ්චය කර ගැනීම. මේ සඳහා වෛද්‍යවරයෙකු මුණ ගැසී ඔබගේ රෝග ලකුණු පරික්‍ෂා කරගැනීම අවශ්‍යයයි. ඔබට ඔබේ පවුලේ වෛද්‍ය‍වරයා හෝ රජයේ රෝහලක බාහිර රෝගී අංශය (OPD) වෙත යාමෙන් මෙය කරගත හැකියි. බොහෝ විට වැඩිදුර විශේෂඥ උපදෙස් සඳහා ‍ම‍නෝ වෛද්‍ය‍වරයකු වෙත ඔබව යොමු කරාවි.

ප්‍රශ්ණය:

එසේ යොමු කළ විට මොනවාද අපට බලාපොරොත්තු විය හැකි ප්‍රතිකාර? එනම් කාංසාවට තියෙන ප්‍රතිකාර මොනවාද?

පිළිතුර:

මනෝ වෛද්‍යරයා මුලින්ම තීරණය කළ යුතුයි ප්‍රතිකාර අවශ්‍යයද නැතිද කියා. අවශ්‍යය යැයි තීරණය කළොත් මේ සඳහා ප්‍රතිකාර රැසක් අද ලෝකයේ තියෙනවා.  මේ වගුවේ තියෙන්නේ එම ප්‍රතිකාර සමහරක්. ඉන් එකක් හෝ කිහිපයක් ඔබටත් ඔබේ වෛද්‍යවරයාටත් එකතුව තෝරාගත හැකියි.

———————————————————————————————————————-

කාංසාවට ප්‍රතිකාර කළ හැකි ක්‍රම කිහිපයක්

  1. මනෝ සෞඛ්‍ය දැනමුතුකම්
    1. කාංසාව ගැන හොඳින් දැන ඉගෙනීම කාංසාව අඩු කරගත හැකි විදියකි. මේ බ්ලොග් සටහන කියවීමද එවැනි දැනමුතුකමක් ගැනීමකි.
  2. ඖෂධ
    1. කාංසාව අ‍ඩු කළ හැකි, සුව කළ හැකි ඖෂධ රාශියකි. නමුත් ඖෂධ අවශ්‍යය වුණොත් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් අනුව පමණක් එසේ ඖෂධ ගත යුතුය.
  3. චර්යා ප්‍රතිකාර
    1. කාංසාවට මුහුණ දීම: මෙය ඉතා සාර්ථක – ඔබේ කාංසාව රෝගයක් නම් – බොහෝ විට එය නිට්ටාවටම සුව කරන ක්‍රමයකි. මෙහිදී ඔබ කාංසාව ඇති කරන අවස්ථාවට – ඉන් පැන නොයා – දිගින් දිගටම මුහුණ දෙයි.
    2. ශ්වසන ව්‍යායාම: ආශ්වාසයේදී (හුස්ම ගැනීමේදී) කාංසාවේ ලකුණු උත්සන්න වන බවත් ප්‍රාශ්වාසයේදී (හුස්ම හෙළීමේදී) එම ලකුණු තුනී වී යන බවත් වෛද්‍ය විද්‍යාවේ උගැන්වෙයි. මෙම කරුණ පදනම් කරගෙන ප්‍රාශ්වාසය දිගු කොට ආශ්වාසය කෙටි කොට යම් යම් ශ්‍වසන ව්‍යායාම නිපදවා ඇත. විබාගයක් සම්මුඛ පරීක්‍ෂණයක් වැනි අවස්ථාවක මෙය ඉතා වැදගත් විය හැක.
    3. සැහැල්ලුකරණ ව්‍යායාම: ඉහත පරිදිම තවත් කාංසාවේ ලකුණු අඩු කළ හැකි විදියකි මාංශ පේෂී සැහැල්ලු කිරීම. මේ අනුව සිරුරේ පේෂී කණ්ඩායම් වශයෙන් ගෙන සැහැල්ලු කිරීමේ ව්‍යායාමයකි මෙය.
  4. කාංසාව සඳහා ප්‍රජානන චර්යා ප්‍රතිකාර (සී බී ටී/ CBT/ Cognitive behaviour therapy for anxiety)
    1. කාංසාව සුව කළ හැකි ඵලදායක මනෝ ප්‍රතිකාර ක්‍රමයකි මෙය. නමුත් මෙම ප්‍රතිකාර ක්‍රමය ඔබට ලබා ගත හැක්කේ ලංකාවේ සමහර මධ්‍යස්ථානවලදී පමණි.

———————————————————————————————————————-
ප්‍රශ්ණය:

එහෙනම් ඔබට ‍බොහොම ස්තූතියි. කාංසාව ගැන අප කළ මූලික හැඳින්වීම මෙතෙකින් අවසන් වනවා. මීලඟට අපට කතා කරන්න තියෙන්නේ මොනවා ගැනද වෛද්‍යතුමනි?

පිළිතුර:

ක්ලමථයට දක්වන තවත් ප්‍රතිචාරයක් වන විෂාදය ගැන අප කතා කරමු මින් පසුව.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

කාංසාව සහ ආතතිය Anxiety and tension සදහා ප්‍රතිචාර 8ක් දක්වා ඇත

  1. පින්ග්කිරීම: මනෝ සෞඛ්‍යය

  2. පින්ග්කිරීම: Contents – ඇති දෑ | මනෝ සෞඛ්‍යය

  3. පින්ග්කිරීම: Contents – ඇති දෑ | මනෝ සෞඛ්‍යය

  4. පින්ග්කිරීම: What is a panic attack? | මනෝ සෞඛ්‍යය

  5. පින්ග්කිරීම: මනෝ සෞඛ්‍යය

  6. පින්ග්කිරීම: Contents ඇති දෑ | මනෝ සෞඛ්‍යය

  7. Mahendra පවසයි:

    බොහෝම ස්තුතියි මෙවන් වටිනා කරුනු මහජනයාව දැනුවත් කිරීම පිළිබඳව. මොකද ඒ ගොල්ලෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව මානසික පීඩා විදමින් සිටින්නේය . මෙවන් කරුණු ඔවුන් තේරුම් ගෙන ගොඩක් දුරට ප්‍රතිකාර වලට ඔවුන් යොමු වී ඔවුන්ගේ මානසික රෝග සුවපත් කරගැනීමට උපකාර වෙනවා. සමහර පවුල් ජීවිත ගත්තොත් මං හිතන විදියට ගොඩාක්ම පවුල් ප්‍රශ්න තිබෙන්නේ මේ මානසික ගැටළු නිසා විය හැක. දැනට පවතින සල්ලි කඩා ගන්නා දොස්තරු අතරේ ඔබ වැනි දොස්තර කෙනෙකු සිටීම ගැන මම ආඩම්බර වෙනවා. බොහෝම ස්තුතියි ඔබේ මේ කරුණු ගැන.

  8. පින්ග්කිරීම: ඔබත් අන් අයට මෙන්ම ඔබටම වද දෙවන වදකාර රියැදුරෙක්ද? (රිය පැදවීම හා මනෝ විද්‍යාව) | මනෝ සෞඛ්‍යය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )